දයාබරිතව ඔබ වෙත










මග නොදැන සිත කලබල
වූ කලෙක
නුඹ ඉන්න මා එන්නම්
කියා මා සොයා පැමිණ,
අතින් ගෙන පාර පැන
මට දුන් ඒ රැකවරණය....
මා වෙනුවන් දිව පැමිණි නුඹ 
මා වෙනුවෙන් හෙලූ දා බිඳු 
දුටුවේ නෑ නොව මම.

අත් දිග කමිසය ඇඳි දිනෙක
දාදිය යයි කියූ විට
ඉන්න, අත් නවන්නම් මම
බසයේ මිනිසුන් බලා ඉද්දීම
කමිස අත් නවා මාගේ
දැන් හොඳද ඇසූ නුඹ.

පාදයේ සීරුම රිදුම් දුන් විට 
ඇවිද ගත නොහැකිව පා අදිමින් යද්දී
කඩයකට ගොඩ වැදී
මා හිඳුවා, නුඹ දණ ගසා
මගේ පාදයේ වෙළුම් පටි බැඳ 
දැන් යමු හෙමින් ඇවිදලා 
කිවූ නුඹ.

මට ආදරේ නැහැ නේද කියා මා
හඬද්දී කිසිත් නොදොඩා
සිටියේ ඒ නුඹ...

ආදරය නොපෙන්වා
ආදරය  කෙරූ නුඹ
මහා මෙරක් තරමට  
ආදරය කෙරුවද නුඹ හට
මම,
තවත් ලොබ කම් කර ඒ ආදරයට
ආදරේ නෑ ඔයා මට
කියා බහින් බස් වුවද
තේරුම් ගන්නෙමි නුඹේ ඒ ආදරය
(මඳක් ඉවසන්න මේ මෝඩ කෙල්ලව)